Tuesday, November 5, 2013

බයිබලීය ප්‍රශ්න කීපයකට පිළිතුරු ||| Have a Bible Questions ?

මේ ලිපිය දාන්න හිතුනේ blog කියවගෙන යද්දී සමහර අය අහල තිබුන බයිබල් ප්‍රශ්න වගයක් දැකල. ඉතින් හිතුන ඒකට උත්තර කීපයක් ලියන්න ඕනේ කියල. ලියන්න ඕනෙම කියල දවස්ගානක් හිත හිත ඉන්න වූනා. ඒ තරමට වැඩ තිබුන කරන්න. අනික නත්තලත් ලග නිසා වැඩ වැඩියි හොදටම.

**** කතාව පටන් ගන්න කලින් දෙයක් තියෙනවා කියන්න. මං මේ උත්සාහ කරන්නේ බයිබලය හා එයින් මිනිස්සුන්ගේ මනසට , බුද්ධියට ඇති වෙලා තියෙන වැරදි වැටහීම් නැති කිරීම මිසක් ආගම් අතර තර්ක ගොඩ නගන්න නම් නෙවෙයි. ඒ හින්දා තෝරා ගත්තේද බයිබලය ගැන කර තිබෙන ප්‍රශ්න පමණයි. නමුත් මේ blog අවකාශයේ අනන්ත තියෙනවා ආගම් බෙදාගෙන සහ ඒවාට කරන පුහු තර්ක.මොකද මම පෞද්ගලිකව ඒ වැඩේට කැමති නැහැ. මොකද මම හැම ආගමකටම ගරු කරනවා.කෙනෙක්ට පුළුවන් මේ ලිපියෙන් උනත් ප්‍රශ්න අහන්න. comment කරන්න. හැබැයි එය බයිබලය පමණක් පදනම් කරගෙන (ඉගෙන ගන්න ආශාවෙන්). ඉතින් වැඩේට බහිමු. *****

ප්‍රශ්න අංක 01.
//  ලෝකය දෙවියන් වහන්සේගේ නිර්මාණයකැයි පවසනවා. එසේනම් ලෝකයේ අන්තර්ගත හැම දෙයක්ම උන්වහන්සේගේ නිර්මාණයක් විය යුතුයි.හොඳයි එය එසේ නම් යක්ෂයා පැමිණියේ කොහෙන්ද? යක්ෂයා නිර්මාණය වුනේ කොහෙන්ද? //

මං මේක දැක්කේ බයිබලය blog එක ලියන සහෝදරයාගේ comments වල තිබිල. ප්‍රශ්නය නම් දෙවියන්වහන්සේගේ ස්වභාවික මැවිල්ලට වඩා "යක්ෂයා" කොහෙන්ද ඇති වුනේ කියන එකයි. උත්තරය කෙටියෙන් දුන්නොත් "යක්ෂයත් දෙවියන්වහන්සේගේ මැවිල්ලක්".

( නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය, සියලු අනර්ඝ ගල් වන ලෝහිතාංකද පුෂ්පරාගද වජ‍්‍රද රන්කාන්තද නඛමානිඛ්‍යද සූර්යකාන්තිද නීල මානිඛ්‍යද රතු කැටද මරකතද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වලද නුඹේ නළා වලද මෙහෙවර නුඹ තුළෙහි විය, නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරන ලද්දේය. 

නුඹ පියාපත් විදහාගන සිටින අභිෂේක ලත් කෙරුබයෙකුවූයෙහිය. මම නුඹ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ කන්දදෙහි සිටෙවුවෙමි, නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙහි ඇවිද්දෙහිය. 
එසකියෙල්  28:13-14 )

මෙම බයිබල් පදයෙන් විස්තර කර තිබෙන්නේ "සාතන්" එහෙමත් නැත්නම් "යක්ෂය" ගැන වේ. බලන්න දෙවියන්වහන්සේ කෙතරම් අපුරුවට , ලස්සනට මවලා තියෙනවාද කියල. අපිට මනසට එන ප්‍රශ්නය වන්නේ යක්ෂයා මෙතරම් දරුණු, නපුරු ක්‍රියාකාරකම් කරන නිසා ඇයි දෙවියන්වහන්සේ ඌව මැව්වේ කියන එක තමයි. මොකද අපි පුරුදු වෙලා තියෙන එක දෙයක් තමයි වර්තමානයේ ඉදල අතීතයේ සිදුවූනාවූ දේ සාපේක්ෂව බලන්න යාම. අන්න ඒක නිසා තමයි මම ඉහත පදය යොදා ගත්තේ. එනම්,

** යක්ෂයා මවන අවස්ථාවේදී ඉතා උතුම් ස්ථානයක් දී මවලා තියෙනවා කියන එක. බලන්න කෙතරම් වර්ණනාවක් උගේ ලස්සන ගැන කරනවාද කියල. මැණික් වර්ග 9ක් ගැන සදහන් කරනවා ඒ ලස්සන කියනන. 

දැන් හිතන්න එපා මං යක්ෂය වර්නනා කරනවා කියල. මට මෙතනට ඇත්තටම ඕන වුනේ දෙවියන්වහන්සේ කෙතරම් අපුරුවට මවලා තියෙනවද කියන එක පෙන්වන්න. මොකද යක්ෂයා ට බනිනවාට වඩා කරන්නේ මවුම්කරුවාට බනින එකනේ.  ඔන්න දැන් දැන් යක්ෂය මවනු ලැබීමේ කොටසින් දෙවියන්වහන්සේ ගැන තිබුන වැටහීම යහපත් ලෙස හදාගෙන ඇති කියල හිතනවා. ඒ වුනාට දැන් ඔබ අහයි එහෙනම් කොහොමද මේ මවන ලද දේව දුතයා දරුණු වැඩ, කරන යක්ෂයා බවට පත්වුණේ කියල. බයිබල් පදය බලලම කතා කරමු.


( නුබ මවනු ලැබූදා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම සම්බවෙන තුරු නුඹේ මාර්ග වල නුඹ සම්පූර්ණව සිටියෙහිය. 
එසකියෙල්  28:15 )

දෙවියන්වහන්සේ යහපත් ලෙස මවනු ලැබුවද, උන්වහන්සේට සියලු අධිකාරී බලය තිබුනද උන්වහන්සේ මවන ලද කිසිම දෙයකට අනිසි බලපෑම් නොකරන බව අපි තේරුම් ගත යුතුයි. එනම් තීරණ ගැනීමේ අවස්ථාව සැම විටම අන්කෙනාට දෙනු ලබයි. එහෙනම් සාතන් තමන් විසින්ම ගන්නට යෙදුනාවූ උඩගුකමේ තීරණය නිසා තමයි ඌ විනාශ වන්නට , දෙවියන්වහන්සේට විරුද්ධ වන්නට පටන් ගනු ලැබුවේ. කැමතියි සාමාන්‍ය උදාහරණයක් දෙන්න. හැබැයි මේක ඉහත කියපු දෙයට 100% ගැලපෙන්නේ නැති බවයි මගේ හැගීම. 

"මේ ලෝකෙට දරුවෙක් බිහිවෙනකොට කිසිම දෙමව්පියෙක් හිතන්නේ නැහැ තමන්ගේ දරුවා හොරෙක්, මංකොල්ලකාරයෙක්, වැනි දූශිත මනුෂ්‍යයෙක් කරන්න. නමුත් එහෙම දූශිත මනුෂ්‍යයන් කී දෙනෙක් අද අප සමාජයේ ඉන්නවාද ? එහෙම වුනේ දෙමව්පියන් නිසාද ? නැතනම් ඔහු විසින් ගත්තාවූ තීරණ නිසාද..? 

හිතල බලන්න .. comment එකක් දාන්න. ඔබේ අදහස් මම ඉතාම අගේ කොට සලකනවා. හමුවෙමු එහෙනම් ඊලග ලිපියෙන්. 

..................ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය ඔබ තුල පවතීවා... ........


Thursday, October 31, 2013

" පටන්ගැන්මේදී " - [ 3 - කොටස ]

our solar system

B. සෞරග්‍රහ මණ්ඩලය ක්‍රියාත්මක කිරීම.

කීවත් වගේම ඔන්න වැඩේ පටන් ගත්තා. අද කතා කරන්න යන්නේ අපි කාටත් වැදගත් වන දෙයක් ගැන. මාතෘකාවේම තියෙනවනේ මොකක්ද ඒ කියල. පරණ පාඩම දිහා බැලුවොත් පේනවා දෙවියන්වහන්සේ මුළු විශ්වයම හා එහි ඇති සියල්ලම සාදල තව වෙනත් වූ දෙයක ඊලගට කරන්න යන බව. හැබැයි ඉතින් මෙතනදී අපි බලන්න ඕනේ මේ දේ කරන්න යනකොට දෙවියන්වහන්සේ කොතනද ඉන්නේ යන වග. 

" දෙවියන්වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටිසේක."(උත්පත්ති 1:2)

ඉහත බයිබල් පදය බැලුවම පේනවා උන්වහන්සේ පොළොවේ තියෙන ජලය මත තමයි ඉන්නේ කියල. ඒ කියන්නේ මිලියන ගානක් වූ මන්දාකිනි අතරින් උන්වහන්සේ අපේ පොළොවට ඇවිල්ල කියන එක තමයි. ඒ වගේම තමයි දෙවියන්වහන්සේ මේ විශ්වය මැව්වද , මේ එකක් වත් ක්‍රියාත්මක කරලා නැහැ කියන එක. ඒ කියන්නේ මේ විශ්වයේ එක මන්දාකිනියක්වත් , සෞරවග්‍රහ මන්ඩලයක්වත් ක්‍රියා කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ අපේ සූර්යගෙනුත් ආලෝකයක් නිකුත් වෙන්නේ නැති වග. (දැන් අහන්න එපා කොහොමද දන්නේ ඕවා වැඩ කලේ නැහැ කියල. එහෙම ඇහුවොත් කියන්න තියෙන්නේ ඉවසීමෙන් ඉතුරුටිකත් කියවගෙන යන්න කියල තමයි. ) 

දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.
එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොටඑළියට දවාලය කියාද අන්ධකාරයට රාත‍්‍රිය‍ය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය.
(උත්පත්ති 1:3-5)

මං මුල් ලිපි වල ඉදන් කිව්වා වගේ මේ හැම දෙයක්ම ලියවුනේ හේබ්‍රව් භාෂාවෙන් බව අමතක කරන්න බෑ. ඉතින් මෙහි ඇති සමහර පදවල තේරුම් තියෙන්නේ ඒක වචනයෙන්. 

"එළිය" = ("හෝර්")
"වේවා" = ("හයා(ර්)") - මෙහි තේරුම වචන අර්ථයෙන් ගත කල "බැබලේවා" යන්න අරුත ගැබ් වේ. 

හැබැයි ඉහල පදය දිහා බලද්දී , ඒකෙ කොහෙවත් නැහැ "මැවූසේක" කියල. එහෙනම් පේන්න තියෙන්නේ කලින් හදල තිබුන දෙයකට ("මවලා") ක්‍රියාත්මක වෙන්න අණ දීපු බවක්. දැන් තර්කයෙන් බලමු මේ අණ මොකටද දුන්නේ කියල. 

01. දෙවියන්වහන්සේ මේ වෙලාවේ සිටින්නේ පෘතුවියේ නම්, (ලිපියේ මුලින්ම)

02. අණකර ඇත්තේ බැබලීමට නම් , 

03. එම අණදීම ඒක වචන නම්,

මේ අපි වෙසෙන සෞරග්‍රහ මණ්ඩලයේ අපේ සුර්යයාට විය යුතුය.
හැබැයි කෙනෙක්ට අහන්න පුළුවන් ඕක කොහොමද අපේ ඉරම වෙන්නේ කියල. සමහර විට අපි ඉන්න මන්දාකිනියට අණ කල වෙන්න බැරිද කියල අහන්න පුළුවන්. නමුත් මේක අපගේ සූර්යයාට විය හැකි වන්නේ,

01. අපේ මන්දාකිනියේ බොහෝ සූර්යයන් ඉන්න බැවිනුත්, හේබ්‍රව් වලින් "එළිය" = ("හෝර්") යන්න එක වචනයක් වී ඇති නිසාය. 

02. දෙවියන්වහන්සේ මේ වෙලාවේ සිටින්නේ අපේ පොලොව මත බවද අපි කලින් කතා කළා. 

ඉතින් අවස්ථා සම්බන්ධයන් ගැන හිතුවම අපිට පේනවා මේ අණ දීල තියෙන්නේ අපේ සූර්යයාට බව. ඒ විතරක් නෙවෙයි .මේ අණ දීල ඉවරවුන මොහොතේම නිශ්චලව තිබෙන විශ්වයෙන් අපේ සූර්යය මණ්ඩලය වැඩ කරන්නට පටන් ගත්ත බවද පෙනී යනවා. මොකද 
"(උත්පත්ති 1:3-5)"  අනුව දවාල සහ රාත්‍රියද ඇතිවී තිබෙන බව පැහැදිලියි. ඒ විතරක් නෙවෙයි, දවසේ නිමාවද පෙන්වා ඇත ( සවස විය, උදය විය, ඒ එක දවසක්ය. ). එනම් පොලොව තමා වටේ එක වටයක් කැරකී අවසන්ව ඇති බවයි.

ලිපිය දිග වේගෙන වගේ එන්නේ . එහෙම උනොත් කියවන ඔයාලට එපා වෙයි. ඉතින් ඊලග ලිපයෙන් හමු වෙමු. එතෙක් මන් විසතර කරපු දේවල් ගැන පරණ ලිපිත් එක්ක එක දිගට කියවලා මනසේ චිත්‍රයක් ඇදගෙන බලන්න. මේ දේ වෙන්න පුලුවන්ද බැරිද කියල. අදහස් මොනව හරි තිබුනොත් comment එකක් දන්න. ප්‍රශ්නත් අහන්න.. ... 

ගිහින් එන්නම්... .ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය ඔයාල සමග සැමදාටම තිබේවා. 








Thursday, October 24, 2013

" පටන්ගැන්මේදී " - අරමුණ ගැන පසු විපරම



මීට කලින් post දෙකකින්   (ඇත්තටම අවුරුදු 1කට කලින් )  " පටන්ගැන්මෙදී " යන මාත්තෘකාව යටතේ ලිපි දෙකක් ඉදිරිපත් කලා. ඉතින් මට ඒක ඉවර කරගන්න වුනේ නැහැ මගේ තිබුන වැඩ රාජකාරිත් එක්ක. ඉතින් ඒ ලිපි පෙළ ඉදිරිපත් කරන්න පළමුවෙන් හිතුන ආයෙත් ඒ ගැන කතා කලොත් හොදයි කියල. මොකද මම කියවලා , internet ඒකේ හොයල ඉගෙන ගත්ත දෙයක ප්‍රථිපලයක් විදියට තමයි මේ ලිපි පෙළ දාන්නා හිතුවේ. හේතුව ඔබේ අදහස් එක්ක ගැටෙමින් අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන ආසාව නිසා (මේකට කියන්නේ "උන" කියල). 

හැබැයි ඉතින් කියවගෙන යද්දි ටිකක් අමාරු වචන එහෙම තියෙන්න පුළුවන්. හේතුව මන් මේ දේවල් පැහැදිලි කරන්නේ විද්‍යාව සම්බන්ද කරගෙන. බර වචන තිබුනට upset ගන්න දෙයක් නැහැ. පුළුවන් තරම් සරල භාෂාවෙන් තමයි දෙන්න බලන්නේ. 

මේ මාතෘකාවේ අරමුණු කීපයක්ම තියෙනවා. 

01. දෙවියන්වහන්සේ  මිනිසා හට ලබා දෙන සත්‍ය ප්‍රේමය ගැන බයිබලයේ අදහස පැහැදිලි කිරීමට, 

02. මිත්‍යාව , අවිද්‍යාව තුල අතරමං වී සිටින වත්මන් මිනිසාට (කිතුනු / නොකිතුනු) " නව ජාතියක ආරම්භය සිදුවුයේ කෙසේද යනවග පැහැදිලි කිරීම වෙනුවෙනි. 


මේ ලිපි ටික ඉදිරියට කියවගෙන යද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම දෙයක ලෝකය තුල වෙලා තියෙනවාද කියන එක. හැබැයි ඉතින් මගේ උත්සාහය නම් පුළුවන් තරම් තර්කානුකුලව මෙවදේ ඉදිරියට කරගෙන යන්න. මේ සදහා මන විශේෂයෙන්ම උපයෝගී කරගත් පොත වුනේ " ශුද්ධ බයිබලය"යි. 

ඒහා අමතරව තවත් පොත් කීපයක්ම යොදා ගත්ත. මීට අමතරව ප්‍රධාන ලෙසම ලංකා බයිබල් විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයෙක් වූ "අජිත් ක්‍රිස්ටෝපර් රාජ් " දේවගැතිතුමා විසින් රචිත " පටන්ගැන්මෙදී " යන කෘතියද සමග තවත් පොත් කීපයක් (උත්පත්ති පොත ආශ්‍රිත) යොදා ගත්තා. ඉස්සෙල්ල කියපු පොත නිසා තමයි මට මේ ලිපි පෙළ දාන්නම හිතුනේ. ඉතින් ඒ පොතට දාල තිබුන මාතෘකාවම මන් මේකටත් යොදා ගත්තා. 

ඔන්න ඕව තමයි ඉතින් මේ වැඩේ කරන්න මාව දිරිමත් කලේ. කොහොමින් කොහොම හරි මං දන්නා , ඉගෙර්ණ ගත්ත දේ තමයි ඉතින් බෙදන්නට යන්නේ. සෑහෙන දිග ලිපි පෙළක්. නමුත් ඉවර කරනනම ඕනේ. ඉතින් හමුවෙමු ඉදිර්යේදී නැවතත් නවතපු තැනේ ඉදන් පටන් ගන්න. 


ඔන්න ඉතින් කියන්න ඕන ටික ඔක්කොම කීවා ... ගිහින් එන්නම් .. අලුත් ලිපියකින්.... 

AFTER LONG TIME [කාලෙකට පස්සේ....]


 ... සැහෙන කාලයකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරුව ගියා. ඒ අලුත් එකක් ලියන්න මිසක්. තිබුන වැඩ රාජකාරී එක්ක බැලුවම මොන බ්ලොග් ද කියල හිතුන. ඔය දේවල් මදිවට වැඩ කරන රටත් වෙනස්වූනානේ. දැන් නම් මේ ලිපිය ලියන වෙලාවෙත් ඉන්නේ අපේ රටෙන් බොහෝ ඈතකට ගිහින්. සමහරු මේකට වැලි කතර කියලත් කියනව. (අනේ මන්දා වැලි හොයන්න නම් ඉතින් මේ රටේ මුහුදට යන්න ඕනේ. ) අගේ කරනන් දෙයක් නැහැ. 




ඩුබායි රටේ ඉදගෙන තමයි (ඉදගෙන කියල කීවට වැඩ කරන ගමන් තමයි) ඉතින් blog ලියන්න වෙලා තියෙන්නේ. ලියන්න නම් සැහෙන දේවල් තියෙනවා. මාතෘකා නම් එමටයි. ඩුබායි වගේ රටක රැකියාවකට එනකොට මොනවද කරන්න ඕනේ, සුදානම් වියයුතු දේවල් ගැනත් ලිපියක් නෙවෙයි, ලිපි පෙළක්ම දාන්න තමයි හිතාගෙන ඉන්නේ. කාලෙකට කලින් නවත්තපු Title එකේ වැඩ ["පටන්ගැන්මෙදී"] අයෙත් පටන් ගන්න ඕනේ. 

හ්ම් .. දැන් කට්ටිය බලනවා ඇති මන් මෙහෙට වෙලා full ආතල් එකේ Ice පාරක් ගෙන ඇති කියල. ඒ ගැන නම් ඉතින් කියල වැඩක් නැහැ. මෙහෙට ඇවිත්ම තමයි ඉතින් බලන්න ඕනේ වැඩේ තරම. ඕව ගැන ඉදිරියේදී ලිපි මගින් ලියන්නම්කො. මොකද මන් කාපු කට්ට මගේ රටේ වෙන එකෙක් කනවට අකමැති නිසා තමයි ලියන්න plan කරන්නේ. අර කතාවකට කියනවනේ " දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග " කියල. අන්න ඒ වගේ වැඩක් තමයි ඉතින් රට රැකියාවකට එනවා කියන්නේ.

දැන් තමයි දැක්කේ මන් මේ ලියන්නේ හරියටම අවුරුද්දකට පස්සේ කියල. 


හෆොයි... දැන් නම් හිටිය ඇති ලියන්න ඕනේ. මදැයි ඉතින්  කොලා. මගේ lunch time එක ඉවරයි. හමුවුමු.. එහෙනම් .. ඕං එහෙනම් මන් ගියා. .. 

Wednesday, September 12, 2012

" පටන්ගැන්මේදී " - [ 2 - කොටස ]


B. පොළොවේ හි පිහිටීම

ටික දවසක් ගියා ඊළග post එක දාන්න. හැබැයි මට first time comment  කරලත් තිබුනා. මාරම හැපි. ඊටත් වඩා තවත් kik එකක් ආවා තවත් ලියන්න ඕනෙ කියල. ඉතින් බොහොම ස්තුතියි මාව දිරිමත් කලාට. අද “පටන්ගැන්මේදී”  දෙවැනි කොටස ඔන්න එහෙනම් දානවා. මේකෙ කොටස් ගොඩාක් තියෙනවා. මොකද කොටස් කරල දැම්මේ නැත්නම් ඉතින් කියවලාම එපා වෙයි. මේක ලියන වෙලාවෙ ලස්සන ගීතිකා CD එකක් අහන ගමන්. ඒකෙ විසතර තවත් දවස්ක වෙනමම  post  එකකින් දාන්නම්කො. ඒකෙ video promo  එක මේ දවස්වල හදා ගෙන යන ගමන්. මොනවා කරන්නද office එකේ වැඩත් හොදටම. ඉතින් වැඩි කථා ඕනෙ නැහැ. මාතෘකාවට බහිමු. ඒ ගැන කථා කරමු.

අපි ගියපාර කතා කලේ විශ්වය දෙවියන්වහන්සේ මැව්වේ කොහොමද කියන එකනේ. අද බලමු මේ පොළොව නිර්මාණය උනේ කොහොමද කියලා. 

උත්පත්ති 1:2 “ පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජල මතූයෙහි හැසිරෙමින් සිටිසේක”. 

එනම් “පාළුව” සහ “හිස්ව” යන පදය අප විමසීමක් කලොත් හොදටම තේරෙන දෙයක් තමයි කලින් පදයේ මවන ලද දේවල් තවම පිටතට ගෙනත් නෑ කියන එක. කොටින්ම කීවොත් පොළොවේ තිබිය යුතු දේවල් තවම පිටතට ගෙනවිත් නෑ කියන අරුත වේ. කලින් post එකේ තිබුන දේවල් මතක නැත්නම් මෙන්න Link (පටන්ගැන්මේදී || [ 1 - කොටස ] )එක “විශ්වය මැවීම”.  

මොකක්ද මේ “ගැඹුර පිට අන්ධකාරය” කියන්නේ එහෙනම් ? එනම් මේ පොතේ කතුවරයා අදහස් කරන්නෙ උත්පත්ති 1:3 වන පදයේ සිට පිටතට ගෙන ඒමට බලාපොරොත්තු වෙන දේවල් හි මූල‍ය වේ. ඒ වගේම “දෙවියන්වහන්සේගේ ආත්මය ජල මතූයෙහි හැසිරෙමින් සිටිසේකලෙස සඳහන් වීමෙන් අපට නියත වශයෙන්ම කියන්න පුලුවන් පෙර කී ගැඹුර වටේට ජලය තිබෙනවා කියලා. එසේම ඒ ජලය වටේට එතුමා “සැරිසරමින්” සිටින්නේ ඇයි කියලා ඔබට හිතෙන්න පුලුවන්. ඇත්තටම සිංහල බයිබලයේ “සැරිසරමින්” යන පදයට “රාහෆ්” යැයි හෙබ්‍රව්  බසින් ඇති අතර ඊට English  වලින් නම් “brooding over the young”  හෝ  “brooding over the eggs” ලෙස වේ. එනම් බිත්තරයකින් පැටව් ඒම බලාපොරොත්තුවෙන් සිටීම වේ. ඒක නිකන් හරියට "රකිමින් සිටිනවා " යැයි කීවොත් හරියටම හරි කියල හිතෙනවා. 

ඇත්තටම උත්පත්ති 1:2 අවස්ථාවීදී පොළොව හරියට බිත්තරයක් සේ ගතහොත්, කහ මදය එම ගැඹුරු අභ්‍යන්තර කොටස ලෙසද, සුදුමදය එහි පිට හෝ වටවී තිබෙන ජලය වේ. එමෙන්ම සුදුමදය හා කහ මදය කෙසේ මිශ්‍ර නොවී පවතීද,  පොළොවද එම අවස්ථාවේදී ගැඹුර නැමති ‍ඝන හෝ ද්‍රව කොටස සහ දියර නම් ජල කොටසද සමග මිශ්‍ර නොවී පැවතුනි. ඒ වගේම මෙහි තවත් එක් වැදගත් දෙයක් වනුයේ බිත්තරයක පැටවකුට අවශ්‍යය සියල්ල එහි අභ්‍යන්තරයේ අඩංගුව තිබෙනවා සේම (පිහාටු, හොට, කකුල්, ඇස්... ) පොළොව මතට අවශ්‍යය සියල්ලද(ගස්, සතුන්, පක්ශීන්, මුලද්‍රව්‍යයන්,....) එහි ඝන අදුරු කොටසේ සැගවී තිබුනු බවයි. එහෙනම් අපට නැවත දකින්නට ලැබෙන තවත් දෙයක් තමයි පළමු පදයේ ලෙසම දෙවියන්වහන්සේ සියල්ල මවා අවසානය යන්න පැහැදිලි වේ. පහත රූපය දෙස බලන්න. පොඩි අදහසක් එයින් අපට ගත හැකියි. 

පොළොවේ පිහිටීම.

මෙතනදි බොහෝ අය කථා කරන "මතයක්" ගැන කියන්නටම ඕනෙ. මන්ද සමහරෙක් උත්පත්ති 1:1 සහ 1:2 අතර කාලයේ පරතරයක් තිබුනා යැයි පවසයි. නමුත් හෙබ්‍රව් භාෂාවෙන් මෙම පද දෙක සම්බන්ධ කරන ආකාරය දෙස බැලීමේදී සම්බන්ධ කරන පදය වන්නේ "වාව්" ලෙසය. මෙම පදයේ මූලික ලෙස ගත හැකි තේරුම් දෙකක් ඇත. එනම් 1- "නමුත්"     2 - "සහ" ලෙසය. මෙම ස්ථානයට එනම් දෙවන පදයේ මුලට උපයෝගී වනුයේ "සහ" යන්න වේ. කියන දේ හරිද වැරදිද කියලා බලන්න නම් ඉතින් බයිබලය කියවන්නම වෙනවා. නිකම් කියවලා බෑ. වචනයෙන් වචනය හොදට තේරුම් අරගෙන කියවන්නට වෙනවා. ආඃ .... මං කීවා නේද වචන දෙක අතර පරතර කතාවක් ඊළග post  එකෙන් ම්ං දාන්නම් විස්තරයක් මොනවාද මේ මතයන් කියලා... 

 ************* නැවත හමුවෙමු *************

[පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජල මතූයෙහි හැසිරෙමින් සිටිසේක.] උත්පත්ති 1:2


Wednesday, September 5, 2012

" පටන්ගැන්මේදී " - [ 1 - කොටස ]

A. විශ්වය මැවීම


විශ්වයේ ආරම්භය පිළිබඳව බයිබලයේ පළමුවන ග්‍රන්ථය වන උත්පත්ති 1:1 හි " පටන්ගැන්මේදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක" යැයි සඳහන් වේ. මෙය හෙබ්‍රවු බසින් ලියවී ඇති ආකාරය දෙස බැලීමේදී " පටන්ගැන්මේදී (ඔහු) මැවූ සේක දෙවියන්වහන්සේ අහසවල් හා පොළොව" ලියවී ඇත. මන්ද යත් හෙබ්‍රව් භාශාවේ ලිවිලි ශෛලිය සිංහල බසට වඩා වෙනස්ය. හෙබ්‍රවු භාශාවේ ක්‍රියා පදය මුලට යෙදෙන අතර සිංහල භාශාවේ අගට යොදනු ලබේ.කුමන බයිබලයෙන් මෙය බැලූවත් මෙය මැවිල්ලේ ක්‍රියා වලිය සිදුවූ බව සඳහන් වේ. එමෙන්ම එය සිදුවූයේ කවදාද? කා විසින් සිදුකරන ලද්දක්ද? සහ මවන ලද්දේ මොනවාද ? යන විස්තර ඇතුලත් වේ.

මෙහිදී අප මුලින්ම " පටන්ගැන්මේදී " යන යෙදුම කෙරෙහි අවධානය යොමු කරමු. මෙම " පටන්ගැන්මේදී "  යන යෙදුම වාක්‍යයේ ක්‍රියාව සිදු වූ කාලය පෙන්නුම් කරන්නෙකි. " පටන්ගැන්මේදී " යන්නට භාවිතා කර අති හෙබ්‍රෙව් යෙදුම "බෙරෙෂිත්" වන අතර එහි අදහස අනන්තය යන්න නොවේය. එය යම් දෙයක හෝ ක්‍රියාවලියක ආරම්භය පෙන්නුම් කරන්නකි. එසේම එය වන්නාහි දෙවියන්වහන්සේගේ පටන්ගැන්ම හෝ එතුමාගේ ආරම්භය ගැන පවසන්නක්ද නොවේ. මන්ද උන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට සිටින තැනැන්වහන්සේය. (ගීතාවලිය 90:2) . යොහාන් 1:1 හි සඳහන් "පටන්ගැන්මේදී වාක්‍යයානෝ ...." ලෙස සඳහන් වන අතර එහි " පටන්ගැන්මේදී " යන්නට භාවිතා වී ඇති ග්‍රීක යෙදුම "ආර්කේ" වේ. එසේම යොහාන් 1:1 හි සඳහන් " පටන්ගැන්මේදී " යන්න උත්පත්ති 1:1 හි " පටන්ගැන්මේදී" යන්නට වඩා ඔබ්බට යන්නකි. එබැවින් උත්පත්ති 1:1 හි " පටන්ගැන්මේදී " යන යෙදුම මෙම පදයේ ක්‍රියාවෙහි හෝ සිදුවීම් ආරම්භය පෙන්නුම් කරන්නක් වේ. එය එම පදයේ ඊළගට සඳහන් යෙදුම් මගින් පැහැදිලි වේ. 

මෙම බයිබල් පදයේ ඊළගට අවධානය යොමුවිය යුත්තේ එහි ඇති ක්‍රියා පදයටය. මන්ද යත් හෙබ්‍රව් බයිබලයේ එම පදය දෙවනුවට ලියවී ඇති බැවින් එය එසේ අධ්‍යයනය කිරීමෙන් මෙම කොටස පහසුවෙන් තේරුම් ගතහැක. එනම් "මැවූසේක" යන්න මෙහි ක්‍රියා පදය වේ. මෙම "මැවූසේක" යන යෙදුමෙහි හෙබ්‍රව් යෙදුම වන්නේ "බාරා" වන අතර එහි තේරුම කිසිදු අමුද්‍රව්‍යයක්, මූලද්‍රව්‍යයක් නොමැතිව යම් දෙයක් පැවැත්වීමට හෝ පිහිටීමට හෝ නිර්මාණය කිරීම වේ. එයට ඉංග්‍රීසියෙන් " CREATING OUT OF NOTHING" වන අතර, එයට creatio ex nihilio  යැයි විද්‍යාත්මක යෙදුමක්ද ඇත. එනම් එය සෑදීමක්, නිෂ්පාදනයක් හෝ සොයාගැනීමක්වත් නොවේය. පුටුවක් සාදන අතර වාහනයක් නිෂ්පාදනය කරනු ලබයි.

තවද එම "මැවූසේක" යන්නට භාවිතා කර අති "බාරා" යන හෙබ්‍රව් යෙදුම දෙස නැවත බැලීමඒදී එහි "ඔහු" යන්නද ගැබ්ව ඇත. එනම් "ඔහු මැවූසේක" යනුය. එමෙන්ම මෙම "බාරා" යන "මැවූසේක" යන යෙදුම කිසිදු පුද්ගලයකුට භාවිතා කල නොහැක. මන්දයත් කිසිදු අමුද්‍රව්‍යයක් නොමැතිව මැවීමේ හෙකියාව ඇත්තේ දෙවියන්වහන්සේටම පමණක්ම යන්නය. තවද මෙම "මැවූසේක" යනු එම මැවිල්ලේ නිර්මාතෘ වන දෙවිසම්ඳාණන්ගේ මනසේ ඇති දෑ පිහිටීමට ගෙන ඒම වේ.


එම පදයේදී මැවුම්කාර දෙවියන්වහන්සේව හදුන්වා දීමට භාවිතා කර ඇති හෙබ්‍රව් යෙදුම වන්නේ "එලෝහීම්" වේ. එය බහුවචනයක් වන අතර එහි අර්ථය එතුමාගේ ගුණාංග සහ මහන්තත්වය ඉස්මතු කරනු ලබයි. එය බහු වචනයක් වුවද එමගින් බහුදේවවාදය හෝ එක්කෙනුකුට වඩා යන්නද ඉස්මතු නොකරන අතර එකම දෙවිකෙනෙකු යන්න පැහදිලිවේ. (ද්වීතීය කථාව 6:4) මගින් මෙය වඩාත් තහවුරු වේ. 

මෙම පදයේ මීළගට අප අවධානය යොමුකරනුයේ "අහසත් සහ පොළොව" යන යෙදුම් දෙක වෙතය. මුලින්ම මෙහි ඇති "අහසත්" යන්නට හෙබ්‍රව් බසින් ඇති "හෂාමායිම්" යන යෙදුමෙහි අරුත දැනසිටීම වටින්නේය. එම යෙදුමෙහි තේරුම "අහසවල්" (ස්වර්ගයන්, ලෝකවල්) යන බහු තේරුම වේ. ලතින් භාෂාවෙන් mundus universus  වේ. හෙබ්‍රෙව් 11:3 හි දෙවියන්වහන්සේ "ලෝකවල්" මැවූ බවද 1-ලේකම් 16:26 හි "ආකාශ මණ්ඩල" සෑදූ බවද ස්ඳහන් වේ (ද්විතීය 10:14, ගීතවලිය 96:5, යෙසායා 45:18). මෙසේ බලන කල "හෂාමායිම්" යන්නෙහි හරි තේරුම දැනගත යුතුය. එනම්, මේ විශ්වය විය යුතුය. විශ්වය යනු මෙවන් මන්දාකිණි අති විශාල ගණනකින් යුක්ත එකකි. දුරේකෂයක් මගින් දැකිය හැකි ප්‍රමාණයට වඩා ඉතා විශාල ප්‍රමාණයක් ඇති බව අපි දනිමුව. මේවා අපේ පෘථිවිය භ්‍රමණය වෙමින් පරිභ්‍රමණය වනවා සේම මෙම මණ්දාකිණිද භ්‍රමණය වෙමින් පරිභ්‍රමණය වේ. මෙසේ බැලීමේදී උත්පත්ති 1:1 හි අහසත් යන "හෂාමායිම්" යන හෙබ්‍රෙව් යෙදුමෙහි සූර්යයා, හඳ, සහ පොළොවද මවා අවසානයි යැයි තේරුම් ගත හැක. 

 **** (ඉතින් විශ්වය ගැන නම් මෙතනදි  මීට වඩා කතා කරන්න යන්නෙ නැහැ. ඒකට ඉතින් google ගිහින් බලාගත්තොත් හරියටම හරි. මොකද ගොඩක් විස්තර එහි ඇත. ඔය Discovery වැඩසටහනක් එහෙම Download  කර ගත්තා නම් ඉතින් නියමයි. ) ****



මෙම පදයේ ඊළගට අවධානය යොමු කළ යුත්තේ "පොළොවත්" යන යෙදුමටය. ඉහත කොටස බැලූකල එම අහස හෝ අහසවල් යන යෙදුමේම පොළොව ඇති බව තේරුම් වේ. එසේනම් කර්තෘ නැවත පොළොව යැයි සඳහන් කළ යුත්තේ මන්ද යන් ගැටලුව මතුවේ. එනමුදු මෙහිදී එවන් ගැටලුවක් ඇතිකර ගැනීම අවශ්‍යය නොව්. මන්දයත් කර්තෘ ඊළගට අවධානය යොමු කිරීමට යන්නේ පොළොවටය. එනම් පොළොව යන්න අහසෙන් වෙන්කර පෙන්වනවා මිස පොළොව විශ්වයේ කොටසක් නොවේ යැයි සඳහන් නොකරයි. එය දෙවන පදයෙන්ද පැදිලිවනු ඇත. 

දෙවන කොටසට යෑමට පෙර මෙම කොටසේදී අප සෙවිය යුතු තවත් එක් වැදගත් දෙයක් ඇත. එනම් "මැවූසේක" යන යෙදුම වේ. පළමුකොට මෙම මැවුසේක යන යෙදුම දෙවියන්වහන්සේටම පමණක් ආදේශ කිරීම වේ. එසේම මෙම යෙදුම මීළගට කිරීමට යන්නාවූ දේවල් වලට සම්බන්ධ නොවීම සහ මෙම යෙදුම මෙම පළමු පරිච්ඡේදයේ පස් වතාවක් පමණක් සඳහන් වීම වේ. 

* 1 වන පදයේ 
* 2 වන පදයේ
* 27 වන පදයේ 3 වතාවක්

මෙහි 21 වන පදයේ වනාහි උත්පත්ති 1:1 ක්‍රියාවලිය යා සබැඳේ. 27 වන පදය වනාහි මිනිසාගේ මැවිල්ල සඳහන් කරන්නකි. මේ තුලින් අපට පැහැදිලි වනුයේ මෙම විශ්වයේ මිනිසා හැර දෘශ්‍යමාන, අදෘශ්‍යමාන සියල්ල උත්පත්ති 1:1 හිම මවා අවසානයි යනුය. මන්ද මනුෂ්‍යයා "සාදන" (උත්පත්ති 1:26) සහ "මවන" (උත්පත්ති 1:27) ලද්දකි. එසේනම් මෙම පොළොවෙහි තිබෙන සෑම දෙයක්ම මවා අවසානය යන්න වේ. 


************නැවත හමුවෙමු (2- කොටසින්) - B. පොළොවේ හි පිහිටීම ***************

[පටන්ගැන්මේදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක.] උත්පත්ති 1:1






Tuesday, September 4, 2012

" පටන්ගැන්මේදී " - බයිබලයේ ලෝකය මැවීම පිළිබඳ තර්කානුකූල සහ නිරීක්ෂණාත්මක විවරණයක් ... ( හැදින්වීම ... )



බයිබලයේ පලමු පොත උත්පත්ති පොත වන අතර එය පුරාණයේ විසු "මෝසෙස්තුමා" හට දෙවියන්වහන්සේ  විසින් දෙන ලද එළිදරව්වක් තුල ලියන ලදී. මෙහි උත්පත්ති පොතෙහි කර්තෘ පිලිබදවත්, ලියන ලද කාලය, අරමුණු, විවේචන, දේවධර්මය ගැන විස්තර නොකරන බව පැවසිය යුතුමය. එසේ වුවද උත්පත්ති 1:1 - 9:17 දක්වා වු කොටස පිලිබඳව තර්කානුකූල, විවාදාත්මක, නිරීක්ෂණාත්මක, සහ විවේචනාත්මක සොයාබැලීමක් යැයි කිව හැක. තව දෙයක් කීමට අවශ්‍යය වේ. එනම් බයිබලය මුලින්ම ලියවුන භාෂාව "හෙබ්‍රව්" වු බැවින් එම පරිවර්තනයන් සඳහා "ගෙසනියස්ගේ" හෙබ්‍රව් - කල්දියානු ශබ්ද කෝශය භාවිතා කර ඇත.

මෙම කොටස පිලිබදව පරණ ගිවිසුම් දේවධර්මචාර්ය වරුන් විසින් ලියන ලද ග්‍රන්ථ සහ ලිපි අප්‍රමාණය. පරණ ගිවිසුම් අධ‍යයනයන් පිළිබඳව ලියන ලද ග්‍රන්ථ සහ ලිපි අතරඉන් 70% ක් පමණ ලියවී ඇත්තේ මෙම කොටස පිළිබඳව වේ. දෙවියන්වහන්සේ අදුරන අය පවා මැවුම්කරු කවරෙක්ද යන්න පිලිබ්ඳව සහ මැවිල්ල පිලිබදව නිවැරදි සහ පැහැදිලි අදහසක් අද බොහෝ දෙනෙකුට නැති බව මා විස්වාශ කරමි. මැවිල්ලේ නියම හිමිකරුට නොව, මැවිල්ලට නමස්කාරය කරමින් බොහෝ දෙනෙකු අද අන්ධ විස්වාශ වල යෙදී ඇත. දෙවියන්වහන්සේ කවරෙක්ද? යැයි නිවැරදිව තෙරුම්ගෙන,  හදුනාගෙන ඒ කරන කොට ගෙන එතුමාව අදහාගෙන, නමස්කාර කර එතුමා තුල ඇති ආශිර්වදයන් භුක්ති විඳීමට ආරධනාවක් කිරීමද මෙහි අරමුණක් වන්නේය.

හමුවෙමු ඉක්මනින්ම "විශ්වය මැවීම" නැමති පලමු කොටස සමගින්.

Wednesday, March 14, 2012

ආරම්භයක් ....

       ගිය මාස ගානෙම කියෙව්ව, කියවිල්ලක්.... මුලු දවසම සිංහල බ්ලොග් එකේ තමයි... මොකද කීවොත් මගේ ජොබ් එකේ හැටියට Com එක දිහා ඔහේ බලගෙන ඉන්න වෙලාවල් අම්බානට.... 

       ඒ හින්දම බ්ලොග් කියවන පිස්සුව මට ඔන්න ඉතින් හැදුනා කියමුකෝ... කියෙව්වා ඔක්කොම බ්ලොග් ටික... එතකොට තමා මටත් හිතුනෙ බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියලා... 

ඕන්න ඉතින් හාහා පුරා කියලා බොහොම අමාරුවෙන් තමයි අකුරු ටික අමුන ගත්තෙ... මොකද තවම මට Unicode පුරුදු නැහැනේ... ඒ හින්ද ටිකක් දම්ම කියලා අප්සෙට් වෙන්න දෙයක් නහැ... පසුවට හොද හොද දේවල් දාන්නම්... ගිහින් එන්නම්.. 

ආයුබෝවන්... !!!!!